ලංකාවටම බත සපයන අම්පාර දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය සෞභාග්‍ය ලඟා කරවීම සඳහා හැකි උපරිමයෙන් කැපවෙන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එම සෞභාග්‍යයේ දැක්මෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් ජනතාවට වඩා සමීප විය යුතු බැවින් නැගෙනහිර ඉතිහාසයේ පළමු වතාවට අම්පාරටත් ආණ්ඩුකාර කාර්යාලයක් ඇති කළ බවට ඇය කීවාය.
අම්පාර දීඝගාමිණි මාවතේ ස්ථාපනය කළ අම්පාර දිස්ත්‍රික් ආණ්ඩුකාර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද(8) පෙරවරුවේ එක්වෙමින් ගරු ආණ්ඩුකාරතුමිය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ ද පැවසුවාය.
අපේ පළාත තමයි ලංකාවේ දිගම පළාත පළාත් සභාව වගේම පළාතේ සියළු අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලය පදනම් වෙලා. පළාත් සභාව විසුරුවලා නිසා දිස්ත්‍රික් මට්ටමින් එහි සිටි මහජන නියෝජිතයන්ගේද සහභාගිත්වයක් පළාත් රාජ්‍ය යාන්ත්රණයට නෑ. පළාත් සභාවේ සියළු කටයුතු අධීක්ෂණය වෙන්නේ ආණ්ඩුකාර කාර්යාලය හරහයි. අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පදියතලාව ඉදලා ඉතා දුෂ්කරව මේ අහිංසක ජනතාව ත්‍රිකුණාමලයට එන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්න. දීර්ඝ කාලයක පටන් මට අවශ්‍ය වෙලා තිබුණා ඒ ක්‍රමය වෙනස් කරන්න. අද ඉදලා අම්පාර ජනතාවට තමන්ගේ ගැටළු විසද ගන්න ත්‍රිකුණාමලයට එන්න ඕනේ නෑ. අද සිට මේ කාර්යාලයේ ඉදලා වැඩ කටයුතු සිදු වෙනවා.ලංකාවටම බත සපයන දිස්ත්‍රික්කය තමයි අම්පාර. එහෙත් මේ දිස්ත්‍රික්කයට අවශ්‍ය සෞභාග්‍ය තවම ලැබී නොමැති බවයි මගේ විශ්වාසය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කාර්යාලය තුළින් ඒ සෞභාග්‍යයේ අරමුණු ඉෂ්ට කරන්න. අද අපේ පළාතේ කාබනික කෘෂිසංස්කෘතිය පටන් අරගෙන තියෙනවා. ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම හරහා සෞභාග්‍යයේ නැගෙනහිර නමින් අපි විශේෂිත දැක්මක් ලබන වසරේ ක්‍රියාත්මක කරනවා. අපේ පළාතේ ඇති තරම් ස්වභාවික සම්පත් තියෙනවා. විශේෂයෙන්ම බලශක්තිය හොඳින් උත්පාදනය කරන්න පුළුවන් සම්පත් අපේ පළාතට තියෙනවා.
සූර්යය බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අපේ පළාතේ පාසල්වල සහ රෝහල් වල වහලවල් යොදා ගනිමින් ඒ සඳහා නව ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තියෙනවා. ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා සියළුදෙනා එක්විය යුතුයි යැයි ද ගරු ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.
මේ අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චාමර නිලංග, පළාත් පෙරපාසල් කාර්යංශයේ සභාපති ප්‍රදීප් තෙන්නකෝන්, අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති, ප්‍රාදේශිය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.