E1M3 05 11 2021

අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් සිදුවන සංවර්ධනයට යොදවන මුදල් අවභාවිතා කළහොත් ඊළග ආත්මයේ ඉපදෙන්නේ කුම්භාණ්ඩයන් වී බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කළාය.

එසේ ජනතා මුදල් අවභාවිතා නොකර ඊළග ආත්මයට පින් පමුණුවා ගන්නැයිද ආණ්ඩුකාරවරිය කීවාය. වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට බදාදා(03) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

 

මෙම රැස්වීම සඳහා පැමිණ සිටි මොරවැව සහ ගෝමරන්කඩවල ගොවි සමිති නායකයන් අදාළ ව්‍යාපෘතිය ඉතාම මන්දාගාමීව සිදුවන බවත් එම ව්‍යාපෘතිය හරහා සංවර්ධනය කෙරෙන වැව් නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කරන බවත් චෝදනා කළහ.

එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් කටයුතු සිදු කරන කොන්ත්‍රාත් කරුවන් වහාම ඉවත් කර නිවැරදි ක්‍රමවේදයන් යටතේ යළි කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට කටයුතු කරන ලෙසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

“අපට විදෙස් රටවල්වලින් ලැබෙන ආධාර වල හැම සතයක්ම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. නිකන් ලැබුණා කියලා මේ මුදල් නිකරුණේ නාස්ති වෙන්න දෙන්න පුළුවන්කමක් නෑ. මේ ව්‍යාපෘතිය පටන් අරගෙන දැන් අවුරුදු 4ක්. මෙහි වැඩ සිදුවෙන්නේ ඉතාම මන්දගාමීව කියලා ගොවිජනතාවගෙන් චෝදනා තියෙනවා. අපි ජලයෙන් ස්වයංපෝෂිත වෙච්ච රටක් අපිට අවුරුදු 2500ක් පැරණි කෘෂිවාරි සංස්කෘතියක් තිබුණා. ඒ කාලේ හිටපු බුද්ධිමත් ජනතාව වතුර අරපිරිමැස්මෙන් භාවිතා කළා. අපිට මේ වැව් අහම්බෙන් සහ දෙවියන්ගෙන් ලැබුණු දේවල් නෙමෙයි. මේවා අපේ මුතුන්මිත්තන්ගේ නිර්මාණ. නමුත් කියන්න කණගාටුයි අද ජලය නඩත්තු කරන ව්‍යාපෘති ගේන තරමටම අපේ ජල කළමණාකරණය පහළ වැටිලා. දැන් කරන්න දෙයක් නෑ අපි අතින් වැරදුණු තැන් හදාගෙන ඉදිරියට යමු. මොන දේ කරලා හරි ගොවියට වතුර ටික දෙන්න බැරි නම් අපි මේ රැස්වීම් වල මැජික් කරලා වැඩක් නෑ යැයි” ද ආණ්ඩුකාරවරිය කීවාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ,  පළාත් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් කලාමතී පද්මරාජා, වැව්ගම් පුබුදුව ව්‍යාපෘති අධ්‍යක්ෂක, ගෝමරන්කඩවල මොරවැව ප්‍රාදේශිය ලේකම්වරුන්, පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තු නිළධාරින්, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 E1M2 05 11 2021

 

E1M1 05 11 2021

 

E1M3 05 11 2021

 

 

© Provincial Planning Secretariat - EPC