E1M2 14 07 2021

කාබනික ගොවිතැනෙහි නිෂ්පාදනය අඩු වන බවට ඇතැම් පුද්ගලයන් සිදු කරන චෝදනා වලට නිසි පිළිතුරු නැගෙනහිර පළාතෙන් ලබා දෙන බව පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

කාබනික ගොවිතැනට යොමු වීමෙන් එහි නිෂ්පාදන ඵලදායිතාව අඩු වන බවට පවසමින් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ රසායනික පොහොර සමාගම් වලින් යැපෙන ඇතැම් කණ්ඩායම් ගොවියා වැරදි මාර්ගයේ යවන බවද ආණ්ඩුකාරවරිය කීවාය.

තිරසර ගොවිතැන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබද පළාතේ රාජ්‍ය නිළධාරින්ට අවශ්‍ය දැනුම ලබා දීම සදහා මඩකලපුවේදි සංවිධානය කළ විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.


රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර කාබනික කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ශක්තිමත් කිරීමට පළාත තුළ රාජ්‍ය නිළධාරින්ට අවශ්‍ය දැනුම ලබා දීම සදහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. එහිදී පරිසර හිතකාමී ගොවිතැන, වාරි පද්ධතිය කළමණාකරණය, ආහාර සුරක්ෂිතතාවය, කාබනික පොහොර භාවිතා කරන ක්‍රම ඇතුළු විෂයන් ගණනාවක් පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසූහ.


“ජනාධිපතිතුමාගේ සහ අපේ රජයේ අරමුණ ගොවියා ශක්තිමත් කිරීමයි. රසායනික පොහොර භාවිතය නිසා අද වකුගඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් පීඩා විදිනවා. ඒ නිසා අපි ඉදිරි කන්නයේ ඉදලාම රටක් වශයෙන් එකතු වෙලා මේ තීන්දුව ගන්න ඕනේ. පසුගිය කන්න වලදී අපි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් කාබනික ගොවිතැන ආරම්භ කළා. අද එහි සාර්ථකත්වය එම ගොවීන් අත්විදිමින් තිබෙනවා. ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය මේ මහපොළවේ යථාර්තයක් කරන්න අපි සියළු දෙනා එක්විය යුතුයි” යැයි ද ආණ්ඩුකාරවරිය කීවාය.


මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සියළු දෙනා එක්ව සිටියහ.

 E1M1 14 07 2021

 

E1M3 14 07 2021

 

E1M4 14 07 2021

© Provincial Planning Secretariat - EPC