E1M1 27 04 2021

නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු නැගෙනහිර පළාතේ සියළු පාසල් වල ආදර්ශ කාබනික ගෙවත්තක් සැකසීමට පියවර ගන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(30) පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ගරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී බලධාරින්ට උපදෙස් දුන්නාය.

රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ගෙන ඇති තීන්දුව යථාර්ථයක් බවට පත් කිරීම සදහා මෙය ක්‍රියාවට නංවන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය. ළමා හදවත් වලටද මෙම නව සංකල්පය ඇතුල් කිරීමෙන් රටේ අනාගත පරපුර තිරසාර ගොවිතැනක් කරා යෑම නිසැකවම සිදුවන බවද ඇය කීවාය.  පාසල් ආරම්භ කිරීමට පෙර මේ ගැන සියළු විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

ඊට අමතරව කාබනික ගොවිතැන පිළිබදව සිසුන්ට ඉගැන්වීම සදහා පාසල් විෂයධාරාවට විෂයක් ලෙස එක් කර අවම වශයෙන් සතියකට එක් කාලඡේදයක් ඒ සදහා වෙන් කරන ලෙසද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය. මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

© Provincial Planning Secretariat - EPC