E1M1 24 06 2020

පරිසරයට සහ රටේ වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් නැතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

නැගෙනහිර පළාතේ සුන්දර පරිසරය වසර කිහිපයක සිට විවිධ පුද්ගලයන් විසින් විනාශ කර ඇති අයුරු දැකීම කම්පා සහගත බවද ඇය පැවසුවාය.

ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහා විහාරාධිපති, උප්පුවේලි ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අහුංගල්ලේ සිරිශීලවිශුද්ධි මහනාහිමියන් බැහැ දැකීමට ගිය

 

අවස්ථාවේ ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය. එහිදි මහනාහිමියන් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටියේ දැනට රංගිරි උල්පත රජමහා විහාරයේ අළුතින් ඉදිවන ධර්ම ශාලාවේ වැඩ කටයුතු සහ එම විහාරස්ථානය යටතේ පාලනය වන කුච්චවේලි පිච්චමල් විහාරයේ අළුතින් ඉදිවන දාගැබෙහි වැඩ අවසන් කර ගැනීම සඳහා පළාත් සභාවේ අවධානය යොමු කරන ලෙසයි.

ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන බව ආණ්ඩුකාරවරිය එහිදි කියා සිටියාය. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රංගිරි උල්පත රජමහා විහාරය දෙවන පෑතිස් රජු සමයේ ඉදිකරන ලද්දකි. වසර 2300ක් පැරණි මෙහි පැරණි දාගැබක් ඇති අතර සිදු කරන ලද කැණිම් වලදි එහි සර්වඥධාතූන් වහන්සේලා එකොලොස් නමක් වැඩ සිටින බවට හෙළි වි ඇති බවද මහ නාහිමියන් පැවසූහ.

කණගාටුවට කරුණ නම් පුරාව්ද්‍යා දෙපාර්තමේන්තුව මේ කෙරෙහි දක්වන උනන්දුව අඩු වීම බවද උන්වහන්සේ පැවසූහ. එහි පුරාව්ද්‍යා වටිනාකම ජනතාවට ඒත්තු ගැන්වීමට දෙපාර්තමේන්තුව කටයුතු කළ හොත් දෙස් විදෙස් සංචාරක ග්‍රහණයට හසුකර ගැනීම පහසුවන බවද උන්වහන්සේ ආණ්ඩුකාරවරිය හමුවේ පැවසුහ. ඊට අමතරව එම ප්‍රදේශයේ දැඩි අඩුපාඩුවක්ව පවතින අලි වැට ඉදිකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

එම විහාරස්ථානයේ පිහිටි උණුවතුර ළිං සහ පැරණි නටඹුන් නිරීක්ෂණය කිරීමටද ආණ්ඩුකාරවරිය එක්වූවාය.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර උපදේශක සෝමා කොටකදෙණිය මහත්මිය, ආණ්ඩුකාර සම්බන්ධීකාරක ලුතිනන් කමාන්ඩර් සංජීව විරරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

E1M2 24 06 2020

E1M3 24 06 2020

© Provincial Planning Secretariat - EPC