E1M1 27 05 2020 කොවිඩ් 19 වසංගතය සාර්ථකව මැඩපැවැත්වූ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙළ ඉවසා දරා ගැනීමට නොහැකි ඇතැම් පිරිස් දැන් රටේ ආර්ථික වැඩපිළිවෙළ කඩා වැටෙන තුරු බලා සිටින බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
 
සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට ඇහුම්කන් දෙමින් මෙම උවදුර පාලනය කිරීම සදහා බුද්ධි අංශය විශාල වගකීමක් ඉටු කළ බවද ආණ්ඩුකාරවරිය කීවාය. අද (26) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිළධාරින් සමග පැවති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියාය.
කොවිඩ් 19 වැළදුණු පුද්ගලයන් වාර්තා වූ මොහොතේ සිට ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් හදුනා ගනිමින් එය පාලනය කිරීම සදහා බුද්ධි අංශ ගත් මෙහෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද ආණ්ඩුකාරවරිය කීවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ ද පැවසුවාය.
“ පක්ෂ පාට භේදයක් නැතුව සදහන් කළයුතු කරුණක් තියෙනවා ඒ තමයි රජය මෙම උවදුර පාලනය කිරීම සදහා දැඩි වෙහෙසක් ගත්තා. ඒ නිසාම තමයි මෙය නිවැරදිව කළමණාකරණය කිරීමට හැකි වුණේ. ජනාධිපතිතුමා, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිවැරදිව මෙය කළමණාකරණය කළ නිසා තමයි වෙනත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ මරණ අවම කර ගැනීමට අපට හැකි වුණේ.
අපේ රටේ කිසිම කෙනෙක් බඩගින්නේ මැරෙන්න දුන්නේ නැහැ.ඔවුන්ගේ අවශ්‍යතා සෑම ආකාරයෙන්ම හොයලා බැලුවා. මොන තරම් අභියෝග පැමිණියත් ජනතාවගේ ජීවන බර වැඩි නොවෙන්න හැකි සෑම උත්සහයක්ම ගත්තා. බොහෝ රාජ්‍ය නිළධාරින් මේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණා. මේකෙන් අපි අයුතු ප්‍රයෝජන ගත යුතු නැහැ අපි අපේ යුතුකම ඉටු කර පළාතක් හැටියට රජයට දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම අපි රජයට දෙමු. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ අනාගත දරුවන්ට රටක් ඉතුරු කරන්න “ යැයි ද ආණ්ඩුකාරතුමිය කීවාය.


මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ඇතුළු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සියලුම නිළධාරින් එක්ව සිටියහ.

© Provincial Planning Secretariat - EPC