E1M1 14 10 2020

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේද ප්‍රතිපත්තිය නොවන බව  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල, දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය මෙහිදි අවධාරණය කළේ දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරිමට උත්සහ නොකරන ලෙසය.

මඩකලපුව, අම්පාර දිස්ත්‍රික් දෙක මායිම්ව පිහිටි දිවුලපතාන ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සදහා ජනතාවට ලබාදිම පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම පිරිස අද (14) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණියහ.

එහිදී මෙම පිරිස අවධාරණය කර සිටියේ අදාළ ප්‍රදේශය මඩකලපුවේ ජනතාව ඇති කරන ගවයන්ගේ තෘණභුමි බැවින් එම ඉඩම් කෘෂිකර්මාන්තය සදහා ලබාදීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙසය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ කෘෂිකාර්මික කටයුතු සදහා මෙම ඉඩම් ලබාදිමේ අරමුණ රට ස්වයං පෝෂිත කිරීම සහ පිටරටින් ආහාර භෝග ගෙන ඒම අවම කිරීම සදහා වන රජයේ ප්‍රතිපත්තිය නිසා බවය.

මෙහිදි මෙම පිරිස දිගින් දිගටම ආණ්ඩුකාරවරියට බලකර සිටියේ මෙම ඉඩම් කෘෂිකර්මාන්තය සදහා ලබාදිමේදි ජනවර්ග අතර ගැටළු ඇති වන බවය.

එය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය කියා සිටියේ 2015 වසරට පෙර එම භූමිවල වගාකළ ජනතාවට මෙම ඉඩම් ලබා දෙන්නේ කාෂිකර්මාන්තය සදහාම පමණක් බවත්ය. එසේ නොමැතිව මෙම කිසිදු ඉඩමක් සින්නක්කරව ලබා නොදුන් බවද ඇය සදහන් කළාය. එසේම මෙම ඉඩම් පවරාදීම හෝ අත්පත් කර ගැනිම තමාගේ වගකීමක් නොවන බවද ඇය ප්‍රකාශ කළාය.

මෙම පිරිස දිගින්දිගටම දැඩි ආවේගශීලිව ආණ්ඩුකාරවරියට අවධාරණය කළේ තම වැසියන් ඇති කරන ගවයන්ගේ තෘණභූමි සදහා භාවිතා කරන ඉඩම් කෘෂිකර්මාන්තය සදහා ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය.

ජාතීන් ඉලක්ක කර ගනිමින් තමන් කිසිම අවස්ථාවක ගැටළු විසදීමට කටයුතු නොකර බවත් පළාතේ සිටින සියළු පුරවැසියන්ට එක හා සමානව සේවය කිරීමට තමන් බැදි සිටින බවත් ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේ දැඩිව අවධාරණය කරමින් කියා සිටියේ මෙම ගැටළුව නිරාකරණය කිරීම සදහා සියළු පාර්ශව කැදවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තමන්  කටයුතු යොදන බවය. 

“තමුන්නාන්සේලා ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ වෙලාවක මෙවැනි ඉල්ලීමක් කිරීම ගැන මොකද කොවිඩ් - 19 නිසා අපි පිටරටින් ආහාරපාන ගෙන්වීම අවම කරලා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්නයි හදන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ රජයේ අරමුණ ඒක ජනතාව වෙනුවෙන් ඒ ක්‍රියාමාර්ග වලට සහය දෙන එකයි ඔබතුමාලා කරන්න ඕනේ යැයිද”ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් මෙම පිරිස හමුවේ අවධාරණය කළාය.

මේ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමාන්ක්කම් සානකියන්, ගෝවින්දන් කරුණාකරන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි. සෙල්වරාජ්, මඩකලපුව නගරාධිපති ටී.සරවනබවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 E1M2 14 10 2020

 

© Provincial Planning Secretariat - EPC